Open top menu
#htmlcaption1 SEA DICAT POSIDONIUM EX GRAECE URBANITAS SED INTEGER CONVALLIS LOREM IN ODIO POSUERE RHONCUS DONEC Stay Connected
Tuesday, July 5, 2016
වික්ටෝරියානු වස්ත්‍ර ගැලවූ සාහිත්ය‍වේදියා





ක්ලිපර්ඞ් චැටර්ලි ආදිපාදවරයා පළමුවන ලෝක යුද්ධයට සම්බන්ධ වන්නේ ස්වකීය තරුණ බිරිඳ නිවසේ සිටියදී ය. නමුත් අවාසනාවන්ත අයුරින් යුද්ධයේ දී තුවාල ලබන ඔහු අංශභාග රෝගියෙක් බවට පත්වෙයි. ඔහුගේ ලිංගික ශක්තිය දුබලව යයි. මේ හේතුවෙන් ක්ලිපර්ඞ්ගේ තරුණ බිරිඳවන කොන්ස්ටන්ට් රේඞ් නැතහොත් කොනී ට ස්වකීය ලිංගික ආශාවන් මුදුන්පමුණුවා ගැනීමේ හැකියාව ගිලිහී යයි. ඉන්පසු ඇය එය සපුරාගැනීම සඳහා කලිපර්ඞ්ගේ වත්තෙහි මුරකරුවා වන ඔලිවර් මෙලෝර්ස් හා එක්වෙයි. ආබාධිත තත්වයෙන් සිටින ක්ලිපර්ඞ් මේ බැවු දැනගත්ත ද ඔහු ඇයට වෛර නොකරයි.


උක්ත සංසිද්ධිය අපට මුණගැසෙන්නේ ඞී. එච්. ලෝරන්ස් විසින් රචනා කරන ලද ලේඩි චැටර්ලි ලවර්ස් (වැටර්ලි ආර්යාවගේ පේ‍්‍රමවන්තයා* නම් කෘතිය ඔස්සේය. (එම කෘතිය ඇසුරෙන් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණයක් ද ඇත.* කෘතිය සේ ම සිනමා නිර්මාණය ද කලාකාමී සහෘද ජනයා බොහෝ සෙයින් වැළඳගන්නා ලද නිර්මානයකැයි පැවසීමෙහි ද සදොසක් නොමැත. ඔහු විසින් රචනාකරන ලද බොහෝමයක් කෘතීන් භාෂා විශාල ප‍්‍රමාණයකට පරිවර්ථනය වීම හේතුවෙන් ලෝකය තුළ ද සිංහල භාෂාවට ඔහුගේ කෘති බොහෝමයක් පරිවර්තනය කර තිබීමෙන් ලාංකේය පාඨකයාට ද ලෝරන්ස්ගේ නිර්මාණයන් හි සමීපබව වටහාගත හැකිය.

ලෝරන්ස්ගේ ජීවිතයේ තතු පිළිබඳ සොයා යෑමේ දී ඔහුගේ උපත සිදුවන්නේ 1885 වසරේ දී එංගලන්තයේ නොටින්හැම්ෂයර් හි පතල් කම්කරුවෙකුට දාව බැව් පැහැදිලිය. ලෝරන්ස් සිය මවට අප‍්‍රමාණව ආදරය කරන ලද නමුත් ඇය පිළිකා රෝගය හේතුවෙන් අකාලයේ මිය ගොස් ඇත. ලෝරන්ස් ද පෙනහලූ රෝගයට ගොදුරුව 1930 මාර්තුවේ දී මිය යන්නේ අවුරුදු 44ක් වැනි කෙටිකාල සීමාවක් ආයු වැළඳීමෙන් අනතුරුවය. එහෙත් ලෝක සාහිත්‍ය වෙනුවෙන් ඒ කෙටිකාලය තුළ පවා ඔහු විසින් සිදුකරන ලද නිර්මාණයන් හි ඇති වටිනාකම නම් අනල්පය.

White Peacock (1911) ඔහු විසින් රචනා කරන ලද පළමු නවකතාව වූ අතර ඉන්පසුවSons and Lovers (1913), Women in Love (1920), The Rainbow (1915), The Lost Girl (1920), The Plumbed Serpent (1926), Lady Chatterley’s Lover (1928)ඇතුළු නිර්මාණ රාශියක් ඔහු විසින් රචනාකර ඇත. මේ නිර්මාණ අතරින් බොහෝමයක් නිර්මාණ මෙතුවක් වික්ටෝරියානුවාදයේ මුවා ව ස්වකීය සැබෑව වසා සිටි එංගලන්ත වාසීන්ගේ මනසට යකුලූ පහරක් බඳුව පතිත විය. ලෝරන්ස්ගේ නිර්මාණවල සැමවිටම පාහේ ගැබ්ව තිබුණේ එංගලන්තය පුරා පැතිර තිබුණු වික්ටෝරියාවාදී චින්තනයෙන් එංගලන්ත වැසියන් වසා සඟවාගෙන උන් ලිංගිකත්වය පිළිබඳ ලොවට හෙළිදරවු කිරීමකි. නමුත් මෙය හමුවේ එංගලන්ත අධිකරණයෙන් නැගී ආ ගාමක බලවේගය එම කෘති තහනමට පවා ලක්කරන්නට සමත් විය. විශේෂයෙන් ම ලෝරන්ස්ගේ ද රේන්බෝ නවකතාව උසාවිය විසින් අසභ්‍ය ප‍්‍රකාශනයක් ලෙසින් සලකන ලද අතර එහි පිටපත් අත්තඩංගුවට ගෙන විනාශකර දමා ඇත. එසේම ඔහුගේ ආන්දෝලනාත්මක ම නවකතාව වන ලේඩි චැටර්ලි ලවර්ස් කෘතිය 1960 දී පමණ අධිකරණය විසින් තහනම් කර නඩු පනවා ඇත.


ලෝරන්ස්ගේ බොහෝ නිර්මාණ ඔහුගේ ජීවිතයේ සමීප අත්දැකීම් ආශ‍්‍රකර ගනිමින් නිර්මාණය වූ ඒවා බැව් බොහෝමයක් විචාරකයන් විසින් පෙන්වා දෙයි. විශේෂයෙන් ම ඔහු විසින් රචනාකරන ලද ලේඩි චැටර්ලි ලවර්ස් කෘතිය ද ඔහුගේ ම ජීවිතයේ ඇති වූ යම් යම් සංසිද්ධින් කේන්ද්‍රකර ගනිමින් සහ ඔහුගේ මනස තුළ ඇතිවූ අදහස් ඇසුරෙන් නිර්මාණය ඇති යැයි පැවසෙයි. එහෙත් වඩාත් සුවිශේෂීම කරුණ නම් එය හුදු ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් ව රචනා වුවද එය පොදු නිර්මාණයක් සේ සහෘදයාට විඳ ගැනීමේ ඉඩකඩ ලෝරන්ස් විසින් සිය නිර්මාණය තුලින් ලබා දී තිබීමය. මෙම කෘතිය හා ලෝරන්ස්ගේ ජීවිතය අතර ඇති සබඳතාවය වඩාත් පැහැදිලි වන්නේ 1994 දී පමණ බ්‍රෙන්ඩා මැඩොක්ස් විසින් The Married Man; A Life of D. H. Lawrence කෘතිය රචනා කිරීමත් සමඟින් ය.
ලෝරන්ස්ගේ බිරිඳ වන ෆ්‍රෙයිඩා යනු අතිශය කාමාශක්ත ගැහැණියක් ලෙසින් සැලකෙන අතර පසුකාලීනව ලෝරන්ස් පෙනහලූ රෝගයට ගොදුරු වීමත් සමඟින් ඇය ට සිය ලිංගික අවශ්‍යතාවයන් ලෝරන්ස්ගෙන් ඉටුකර ගැනීම අපහසු ව ඇත. ඒ හේතුවෙන් ඇය ලෝරන්ස් සමග විවාහව සිටිය දී ම වෙනත් පිරිමින් කරා ද ගොස් ඇත. ඇය ලෝරන්ස්ගෙන් ඉංග‍්‍රීසි ඉගෙනීමට පැමිණි ඉතාලි හමුදාවේ කපිතාන්වරයෙකු වන ඇන්ජලෝ රවාග්ලි සමඟින් ද පේ‍්‍රමයක පැටලී ඇත.

කෙසේ නමුත් බ්‍රෙන්ඩා මැඩොක්ස් පවසන අයුරින් ලෝරන්ස් සහ රොස්ලින්ඞ් තෝනික්‍රොෂ්ට් නම් කාන්තාවක් අතර පසුකාලීනව පේ‍්‍රමයක් ගොඩනැගෙයි. ඒ වන විටත් රොස්ලින්ඞ් ද විවාහක කාන්තාවකි. නමුත් ලෝරන්ස් හා ඇය අතර සමීප සබඳතාවක් ඇතිව තිබූ බවත් එය පේ‍්‍රමණීය බැඳීමක් බවත් පැහැදිලි වෙයි. එහෙත් ඒ වන විට ද ලෝරන්ස් ට රොස්ලින්ඞ් ව ලිංගික වශයෙන් තෘප්තිමත් කරන්නට නොහැකිව ඇති බව මැඩොක්ස්ගේ කෘතිය මගින් කෙරෙන කරුණු දැක්වීම්වලින් පැහැදිලි වෙයි'
.
මේ හේතුව නිසා ලෝරන්ස් තුළ දෙබිඩි මානසික තත්වයක් ඇති වන්නට ඇත. එක් පසෙකින් ලේඩි චැටර්ලි ලවර්ස් හි එන ආදිපාදවරයා ගේ ලිංගික බෙලහීනතාව ඔහු තම ජීවිතය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් විය හැකි ය. එසේ ම කෝනි ගේ එනම් වැටර්ලි ආර්යාවගේ ලිංගික අවශ්‍යතාවයන් පූර්ණය කිරීම උදෙසා ඇය සොයා ගන්නා විසඳුම වන ඔලිවර් මෙලර්ස් නම් මුරකරුවා ද ලෝරන්ස් ගේ ම මනසේ බිහිවූ පැන්ටසියක් විය හැකිය. ඒ පැන්ටසිය හරහා ඔහු උත්සහ ගන්නට ඇත්තේ තමාට අහිමිව ඇති දෙය පැන්ටසිය මගින් සපුරාගෙන තෘප්ත වීම විය හැකිය. එමගින් ඔහුගේ අවිඥානික ආශාවන් සපුරාගන්නට ඔහු වෑයම් කරන්නට ඇතැයි පැවසිය හැකිය.

කෙසේ නමුත් ලෝරන්ස් ගේ නිර්මාණ හරහා ගම්‍ය වන ස්ත‍්‍රිය යනු පහත් ගති ලක්ෂණ වලින් හෙබි තැනැත්තියකැයි යන කරුණ ද ඔහුට සිය බිරිඳවන ෆී‍්‍රඩා ගේ චර්යාවන් ඇසුරින් අවිඥානගත වූවක් විය හැකිය. මෙලෙසින් බලන කල ලෝරන්්ස්ගේ නිර්මාණවල ඇති දැවැන්ත සෙවනැල්ල ඔහුගේ ම ජීවිත වටපිටාවෙන් සහ ඔහුගේ සිතුම් පැතුම් ඇසුරෙන් නිර්මාණයව ඇති බවක් වටහා ගැනීමට හැකිය. නමුත් එහිදී වැදගත්ම වන කරුණ නම් අනෙකක් නොව එසේ ස්ව අත්දැකීම් පදනම් කරගනිමින් නිර්මාණයන් බිහි කල ද එම නිර්මාණ පොදු අනුභූතීන් විද්‍යමාන වන දෑ ලෙසින් සහෘදයාට පැහැදිලිව විඳගත හැකිවීමයි.

 මහේෂි රශ්මිකා කරුණාරත්න
Read more
Wednesday, June 22, 2016
තේ  ____

සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.

කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.

කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.

තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.

‘අද තේ පරක්කුයි’ භාෂිනී මිස් පුරුදු විදියට හීනි ඇහිබැම දෙක එකට යාකරගෙන නොරිස්සුම් හඬින් කියද්දි
ආකාශ් මහත්තය රතුපාට ලැප්ටොප් එක උඩින් ඔළුව උස්සල බලනව. “භාෂිනී අක්කි මනුස්සයෙක්ට කම්ප්ලිමෙන්ට් එකක් දුන්න දවසට ඉර බටහිරින් පායයි.”. ඒක අහල හැමෝම හිනාවෙනව. දබරැඟිල්ල උරුක්කරල රැවුම් මූණක් හදන්න යන අතරෙ භාෂිනී මිස්ටත් හිනා යනව.

සුසීමා ආකාශ්ගෙ මේසෙ වම් පැත්තෙන් තේ කෝප්පෙ තියල පීරිසියෙන් වහනව. ආකාශ් පුරුදු විදියට වම් අත කරකවල සුසීමගෙ ඇඟිලි දෙකක් අල්ලට හිර කරගන්නෙ ස්ක්‍රීන් එකෙන් ඇස් දෙක තත්පරේකටවත් එහාමෙහා කරන්නෙ නැතුවයි. ඊට පස්සෙ රතු පාට බාග රාමුවක් දාපු කණ්නාඩිය දකුණු අතින් චුට්ටක් පාත් කරල ඇහැක් ගහනවා. 

“ම්ම්ම්හ්” මේසෙ අයිනක ගොඩගහල තිබුන ටොෆි චොකලට් කෝප්පෙකින් කිරි පාට රවුම් චොකලට් දෙකක් සුසීමගෙ අත ගාවට තල්ලු වෙනව. 

‘ආ… සුසීමා, මෙයා අද අලුතෙන් ආවෙ.’ ආකාශ් අකුරකවත් ගස්සන්නෙ නැතිව රොබෝ කටහඬකින් කියනවා. තඹ කොණ්ඩාකාරියක් සුසීමා දිහා බලලා කට කොණක් ඇදකලා. පණ කළඳක් නැති බළල් ඇස් දෙකක්.

“මිස්ට මොන්වද ගේන්නෙ?”

“ග්‍රීන් ටී තියනවද?” 

“අරං එන්නම්.” සුසීමා හිස් බන්දේසිය අරගෙන, කොරිඩෝව දිගේ තාලෙට අඩි තියනකොට සාක්කුව පතුලෙ තියෙන චොකලට්ටු දෙක උඩ පනිනවා.

අවුරුද්දකට විතර කලින් හිටියා මින්ට් සුවඳ තේ බොන, කූරු කරාබු දාන මිස් කෙනෙක්. සුසීමාට මින්ට් සුවඳ අපුලයි. කොල පාට කියන්නෙ තේවලට ගැලපෙන්නෙම නැති පාටක්.

සුසීමා තේ බොන්නෙ ලා දුඹුරුපාට මග් එකක. ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් එලියට ආපු මග් එකක. ඉක්මනින් තේ උගුරක් බීපු සුසීමා බන්දේසියේ හරි මැදින් ග්‍රීන් ටී එක තියාගෙන තාලයක් නැති කලබල පියවරවලින් ඉස්සරහට දුවගෙන යනවා..

ආකාශ් තඹ කොණ්ඩාකාරියගෙ පුටුව ඉහළින් නැමිලා කතාකරමින් ඉන්නේ පරිඝණක තිරේට එබීගෙන. සුසීමා තේ කෝප්පෙ මේසෙ උඩින් තියනකොට පීරිසිය කෝප්පෙ ගැටිලා ‘ක්ලන්-ක්ලන්ක්’ හඬක් නික්මුනා. ආකාශ් පරිඝනක තිරේ දිහා බලාගෙනම, සුළු ගැස්සීමක්වත් නැතිව අල්ලාගෙන උන්නු අහස් නිල් පාට නියපොතු ඇති සිහින් දිගු ඇඟිලි දෙක මුදාහැරියා.

සුසීමා හිස් කෝප්ප පුරවාපු බන්දේසිය වඩාගෙන කොරිඩෝවට පාවුනා. හිස් කෝප්ප, තේ, කෝපි පුරවාපු කෝප්පවලට වඩා බරට දැනුනා. 

සුසීමා ලා දුඹුරුපාට මග් එක අතට ගන්නකොට තේ එක ඇල් වතුර තරමටම හීතල වෙලා. ඉඟුරු සුවඳක් දැනුනෙත් නෑ.


- යශෝධා සම්මානි ප්‍රේමරත්න -
Read more
සම්මතෙන් එහා...........




          
ෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන  රැදි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්‍රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව ගැලපේ. මේ මුදුව තුල වසර හතරකට එහා ගිය කතන්දරයක් තිබෙන බව ඇය දනී. දුක සතුට සහ තවත් මොන මොනවාදෝ මිශ්‍ර වුණ හැඟීම් කන්දරාවක් ගෙවා ආ ඒ වසර ගනනාව තුල ඈ අත්වින්දා නොවේද...

___________________________________________________

             
විරහ දුකින් දැවී පිළිස්සී ඒ පුළුගු කැට යාන්තන් නිවෙන්නට අර අඳින සමයක සෂායාට ඔහු හමුවෙයි. සැබැවින්ම එය අහම්බයකි. රිදුණු තැවුණු හිතට ඒ මිතුරු සමාගම සිහිල් පොඳ වැස්සක් වූවායැයි නොකීවොත් එය අඩුවකි. මුලදී ඇගේ ජීවිතේ බොහෝ තැන් ඔහුගෙන් වසං කරන්නට සෂායට සිදුවෙයි.ඒ ඇගෙම යහපත ගැන සිතා ඈ ගත් තීරණයකි. එක අතකට ඒ පුංචි කොළු ගැටයාට ඒ මහාප්‍රාණ කියා වැඩකුත් නැත. ඇය කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත.

          
නමින් ඔහු සමීර.. ඇයට වඩා වසර හතකට පමණ ලා බාල පුංචි කොලුවෙක්.එහෙත් ඒ වසර විසි එකක පුංචි කොලු ගැටයා ළඟ පෙනුමෙන් පමනක් නොව හැසිරීමෙන් පවා ඈ ඔහුටත් වඩා පුංචි එකියක සේය.ඒ සෂායා උපතින්ම අරන් ආ වාසනාවකි.ඇගේ වයසට වඩා බෙහෙවින්ම ලා බාල ස්වරූපයක් ඇයට නිතැතින්ම හිමිය.ඒ නිසාමදෝ පුංචි සංදියේ පටන්ම ඇගේ සිතුම් පැතුම් පවා වයසට වඩා සොඳුරුය , සුරතල්ය.

 ඔයාට 28 ක් කියල පිළිගන්නම බෑ....

අන් හැමෝම කියනා පරිදිම පළමු හමුවේදිම ඈ දැක ඔහු මවිත විය.

 ම්.... ඔව්... ඒත් මම ඔයාට ලොකුම ලොකු අක්කෙක් හොඳද...

එහෙත් ඔහු කවදාවත් ඈට අක්ක කියා ආමන්ත්‍රණය නොකලේය.එහෙත් ඇයට ඔහු ඇගේම මල්ලි මෙන් විය.

සමීර පවුලේ එකම දරුවා විය.ඔවුන්ගේ මිතු දම ඇරඹෙන්නට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් පියා මිය ගොස්ය.අම්ම සුව නොවන පිලිකා රෝගයකින් පෙලෙයි.එසේ බලද්දි ඔහු සෂයාට වඩා අසරණය.ඈ ඇගේ දුක පසෙක තබා ඔහුගේ දුකට හවුල් වී ඒ සිත සනසන්නට වෙහෙසවිය. මාස තුනකට වරක් අම්මා සමග පිළිකා රෝහලට ඔහු යන ගමනට ඇය එක් වූයේද ඒ නිසාමය.

කාලයාගේ ඇවෑමෙන් ඇයට කෙසේ වෙතත් ඔහුට ඇය නැතුවම බැරි විය. ඒ පුංචි හිතුවක්කාරයා සියුම් ලෙස ඇගේ ජීවිතය පාලනය කරන්නට යන බව හසුරවන්නට යන බව ඇයට දැනෙන්නට විය. මිතුරු කමට , සහෝදරත්වයට එහා ගිය බැල්මක් ඒ ඇස් වල පළමුව දුටු දා සෂායා තිගැස්සුණි. ඇයටද හොරා ඔහු ඇය ගැන විපරම් කරතිබුණි. ඔහු හැමදේම දැනගන්නට ඇත.

 ඇයි මට බොරු කලේ....

මං බොරු කලේ නෑ... මගේ ජීවිතේ සමහර දෙවල් ඔයාට නොකියා හිටියා විතරයි...ඒක අපේ යාළු කමට බාධාවක් නෙවෙයිනෙ නේද....?

 මට දුකයි... සැබෑවටම ඒ ඇස් මුල කඳුලක් දිලිසෙයි.

 දුක් වෙන්න එපා ... මේ මගේ උරුමේ... ඒකට මම දුක් විඳලා ඉවරයි දැන්...

 මං ආදරෙයි...


 දන්නවා මං ඒක ඔයා මගේ මල්ලිනේ....

 මං කියන්නෙ එහෙම ආදරයක් නෙවෙයි...ප්ලීස්... තේරුම් ගන්න...

 පිස්සුද ඔයාට... මං ගැන හැමදෙම දැනගෙනත්... අනික මගෙන් එහෙම දෙයක් අහන්නවත් පුලුවන්ද ඔයාට...?

 මම ආදරෙයි... මම දන්නේ එච්චරයි...

 මට අවුරුදු  28 ක්

 දන්නවා

 මං කසාද බැඳල මිනිහ දාල ගිය ගෑණියෙක්

 දන්නවා

 දන්නවනම් ඇයි මේ විකාර ?

 මට ඒවා වැඩක් නෑ... මම ඒවා ගනන් ගන්නෙත් නෑ..මං ආදරෙයි.. මගෙන් ඈත් වෙන්න එපා... මං බඳිනව ඔයාව...

           
සෂායාට හුස්ම හිර විය. මේ හිතුවක්කාරයා මෙල්ල කරන හැටි ඇයට නොතේරේ.හිරිමල් වියේදීම නොගැලපෙන විවාහයකින් හෙම්බත්ව තනිවූවා මිස ඇයට ජීවිත අත්දැකීම් තිබුණේම නැත.ළිං මැඩියෙකු සේ සිරව ගත කල ජීවිතෙන් මිදුනේ මේ ඊයේ පෙරේදාය. ඈ ලෝකය සොයද්දී ලෝකය දකිද්දී මුණ ගැහුණු ප්‍රථම ළෙංගතු සිතැතැත්තා ඔහුය. ඇගේ හැසිරීම තවමත් හිරිමල් කෙල්ලකගේ මෙනි. ඈ අභියස ඒ අවුරුදු  21 කොළු ගැටයාද යෝධයෙකි.ඇගේ හුරතලයට ඒ ඇවතුම් පැවතුම් වලට ඔහු පිස්සු නොවැටුණානම් එයද පුදුමයකි.ජීවිතයට හමුවූ පලමු පිරිමි යාළුවා ඇයට මෙවැනි යෝජනාවක් කරතැයි ඇය නිකමටවත් නොහිතන්නට ඇත.එහෙත් එය එසේ සිදුවිය. නමුත් මෙය සිදුවිය නොහැක්කකි.ඒ අසම්මතයට ඉඩ හසර සාදා අනුබල දෙන්නට ඇයට උවමනාවක් නැත.
 
 ඔයා කතා කරන්නේ බුද්ධියෙන් නෙවේ මගෙ මල්ලි... හැඟීම් වලට වහල් වෙන්න එපා... කවදා හරි ඔයාට තේරෙයි මේක වෙන්න බැරි දෙයක් කියල...එදාට ඔයා පසුතැවිලි වේවි... ලජ්ජ වේවි මේ ගැන.

 මට බණ කියන්න එපා... මට ඔයා විතරයි ඕනෙ... අනිත් හැමදේම විසඳගන්න මට පුළුවන්...

 පිස්සු ළමයෙක්..

 මං ළමයෙක් නෙවෙයි... මට ආයෙ එහෙම කියන්න එපා...

කවදාවත් නැති තරමට ඔහුට තරහ ගිය අපූරුව. ඉතින් මේ වෙන්වන්නට කාලය බව ගැහැණු බුද්ධිය විසින් ඇයට අනතුරු අඟවන ලදී.ඇය ඔහුගෙන් වෙන් වන්නට දිවා රෑ පිඹුරු පත් සකසද්දී , ඔහු අපූරුවට සෂායගේ සුන්දර දුර්වල ගැහැණු ආත්මය වටා පතාක යෝධයකු සේ නැගී සිටින්නට අහිංසක උත්සහයක නියැලෙයි.විටෙක මුඳු මොළොක් ලෙස හඬා දොඩා ඇගේ ප්‍රේමය අයදින ඔහු විටෙක රළු පරළු වෙසක් ගෙන රාක්ෂයෙකු සේ හැසිරෙයි.

 ඇයි මාව මඟ අරින්නෙ... මාව මරා ගන්නද ඕනෙ... වෙනදට මං නැතුව බස් එකකට ගොඩ වෙන්න බැරි ගෑණි දැන් මොකද මේ මට හොරෙන් පල්ලම් බහින්නෙ...?

 සමීර.... මල්ලී... තේරුම් ගන්න.. මට දැන් ඉස්සර වගේ නිදහසේ ඔයා ළඟ හැසිරෙන්න බෑ...

 ඒ මොකද ඇයි මට මොනවා වෙලාද...?

 ඒ ඔයා මේ කෙහෙල්මල් ආදරයක් පටලවගෙන අපේ බැඳීම අපිරිසිදු කලා... අන්න ඒ නිසා..

 බම්බුව තමා...

අත මිට මොලවා බස් නැවතුමේ තහඩුවට වැරෙන් පහරක් එල්ල කර ඔහු තරහ පිරිමසා ගති.ඒ අත සීරී ලේ පනිනවා සෂායා දුටුවේය.ඇගේ ඇස් වලට කඳුළක් එකතු විය. එහෙත් ඇය අනුකම්පා නොකලේය. එසේ විනිනම් ඔහු එයද වැරදියට ගන්නවා නොඅනුමානය.

 මේ මහ පාරේ විකාරයක් වෙන්න හදන්න එපා... මම ඉන්නේ ඔයා වගේ සෙල්ලම් කරන වයසක නෙවෙයි....ඔයා මට පුංචි එකෙක් ... තේරුම්ගන්න... වැරදි හැඟීම් ඇස් වල තියාගෙන මං දිහා බලන්නෙපා...එහෙම වුනොත් මං ඔයාගෙන් ගොඩාක් දුරට යනවා සත්තයි... පිස්සෙක් නොවී වැඩ කරන්න... අර අසරණ අම්මට ඉන්නේ ඔයා විතරයි... ඒක අමතක කරන්න එපා....

සෂායා වෙර යොදා ඇයට පුළුවන් උපරිම වේගයෙන් ඔහුට කතා කලේය.ඔහු හිනැහිනි... මහ හඩින් හිනැහිනි. ඒ උපහාසයටද අපහාසයටද දුකටද තරහටද කියන්නට ඈ තවමත් නොදනී.

 චන්ඩි පාට් දන්න හැදුවට ඔයාට චන්ඩියෙක් වෙන්න බෑ... ඇත්ත හංගගෙන මං ඉස්සරහ රඟපාන්න එපා...ඔයා   මට ආදරෙයි...ඒත් ඔයා ඒ හැඟීමට බයයි...ඒක මට පෙන්නන්න බයයි...ඔයා මේ ලෝකෙට බයයි... කතා හැදෙනවට බයයි...

 නෑ... නෑ... නෑ... ඔයා මට මල්ලී කෙනෙක් විතරයි. දෙයියන්ගේ නාමෙට මාව පටලවන්න එපා.... මට ඔයා මෙයා නොකියා අක්කා කියන්න....

 ආමන්ත්‍රණයකට බෑ හිතක හැඟීම් වෙනස් කරන්න...

 පුළුවන් බැරි නෑ... ඔයා මට එක සැරයක් අක්කා කියලා
 බලන්න...

 සශායා මොනවා කීවද  කලද ඔහු මෙල්ල වෙන පාටක් නැත.ගිනි පුළිඟු පිටවෙන ඒ ඇස්   වල මහා ආදරයක් අසරණකමක් ඇති බව ඇයට මනාව වැටහෙයි.විනාඩියක් දෙකක්  නොව විනාඩි ගනනාවක්ම ඔහු කඳුළු පිරුණු ඇස් වලින් ඇය දෙස බලා හිදින්නට විය.

 හරි මං කියන්නම්...මුළු ජීවිත කාලෙම කියන්නම්... ඊට කලිං මං දෙයක් දෙන්න බාර ගන්නවද...?

අන්තිමට ඔහු කටහඬ අවදි කරන්නට විය.

 මොකක්ද...

 ප්‍රශ්ණ අහන්නෙපා බාර ගන්නවද කියන්න...

 හරි බාරගන්නවා... හැබැයි පොරොන්දුවක් පිට... මෙතනින් පස්සේ මේ පිස්සු වැඩ නවත්තනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ...

 මගෙන් පොරොන්දු ගන්න එපා... ඒත් ඔයාට ඕන දේ වෙවි...

ඔහු කලිසම් සාක්කුවේ රුවා සිටි රතු පැහැ ජුවලරි බොක්ස් එකක් එළියට ගෙන එයින් පුංචි රන් මුදුවක් එලියට ගත්තේය.


 මං දන්නව හරි ඉක්මනට ඔයාට මාව අමතක වෙයි. ඔයාට මාව කරදරයක්නෙ.. කමක් නෑ මාව අමතක කලාට පුළුවන්නම් හැමදාකටම මේක ඔය අතේ දාගෙන ඉන්න.. බෑ කියන්න එපා... එපා කියන්නත් එපා... මේක විතරයි මන් මගේ ආදරේ වෙනුවෙන් ඉල්ලන එකම දේ...

හිතුවක්කාරයාගේ ඇසින් ගිලිහුණ උණු කඳුලක් මුදුව මත වැටිණි.සෂායගේ ළාමක හිත කීරි ගැසුණි. එපා කියා ඔහු කෝප ගැන්විය යුතු නැති බව ඇයට වැටහුණි. ඇය ඔහු ඉදිරිපිටදීම ඒ මුදුව ගෙන ඇගේ දකුණතේ වෙඳගිල්ළට පළදා ගති.කඳුලු අස්සෙන් ඒ ඇස් හිනැහෙනවා සෂායා දුටුවේය.

 මං ආදරෙයි අක්කා... ඔයාට මහ ගොඩක්....

එසේ කියා ඔහු දෙනොදාහක් යන මහ මඟදීම ඇගේ මුහුණට පාත්වී ඒ තොල් පෙති මත යාන්තමට හාදුවක් තවරා සැනෙන් පාර පැන නොපෙනී ගියේය.සෂායා සිහි එළවා ගත්තේ ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එන හඩටය.

me Dan mama bus ekakata yatawela marunath mata sapayi.mata me labuna de athi mage malu jeevitha kaletama sanasenna. sathutin inna. budusaranai.

ඒ ඔහුගෙනි. මගමඟ කියා අමතකව සෂායාට ඉකිගැසුණි.

__________________________________________________

                            සෂායා තවමත් මුදුව දෙස බලා හිදී.ඒ අතීතයේ මතකය මොහොතකට ඇගේ සිතුවිලි සී සී කඩ කල තරමක්. එදායින් පසු සෂායාත් සමීරත් මුණ ගැසුනේම නැත. අද ඈ යහපත් ස්වාමියෙක් ලැබ සතුටින් දිවි ගෙවයි.ඔහුද දැන් හැඩි දැඩි තරුණයෙකු විය යුතුය.අතීතයේ සිදු වූ දේ ගැන අද ඔහු පසුතැවිලි වනවාද විය හැක. එසේත් නැතිනම් ඔහු ඔහුගේ පලමු පෙම් සිතුවිල්ල ගැන තවමත් කඳුළු සලනවා ද විය හැක.ඒ කෙසේ වෙතත් ඔහුට නිදුකක්ම වේවායි ඔහු සිහිවන හැම විටම සෂායා දෙවියන් යදී.

                                       
                                                                             කාව්‍යා සංකල්පනා  -
Read more
මල් පත්තරකාරයෙක්වත් නැතුව _________________________

මල් පත්තරකාරයෙක්වත් නැතුව
_________________________


දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ  නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.

තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ඉතා සුනම්‍යයි, දිය ඇල්ලක් වගෙයි කෙලිලොල් අකුරු සාලය පුරා විසුරුවමින් ගලා හැලෙන්නේ. ගිලී මියැදෙන්න හිතෙන තරම් පොළඹවන සුළුයි. මම තව තවත් බළල් ආත්මය තුලට කිඳා බැස්සා. දැන් දිය ඇල්ලේ හඬ ගෙනෙන්නේ පිළිකුලක්. වතුර බිංදුවක් පවා හිස කරකැවිල්ල ඇතිකරවන සුළුයි. ඒත්, ඒ වතුර යට රන්මාළු පීනනවා වෙන්නත් පුළුවනි. 

මම අත් දෙකෙන්ම පියගැටපෙලේ අත්වාරුව බදාගෙන දෙපයට බර දීලා කෙලින් වුනා. වතුර! වතුර!! වතුර!!! අප්‍රසන්න වතුර!

ඈ ආවේ අනවසර සුළඟක් වගේ. අනවසර සුළඟක් වඩාගෙන ආ හිම කැරැල්ලක් වගෙයි මම ගල් ගැහුනේ. පාරින්ද්‍යා, මගේ බිරිඳ තවමත් ඈ සමග මුහුණට මුහුණ ලා ඉඳගෙන කතාලතාවේ. වසර හතකට පසුව මුණගැහෙන පාසැල් මිතුරියන් දෙදෙනෙකුට කතා කරන්න දේවල් කොයිතරම්නම් තියෙනවද? දිය ඇල්ලක් වගේ තමයි. 

තරප්පුවෙන් තරප්පුවට පනිමින් ඉහලට එන සැහැල්ලු දෙපයක්. තොරොම්බල් පාදසළඹක සීනු හඬක් අතරින් පතර ඇහෙනවා. මම ඇස් පිහාටු හැකිතරම් තදින් පියාගන්නවා.

“ඔයා නිදිද?”

“හ්ම්.”

“තේ නිමෙනවා.”

“තේ කියන්නේ එහෙම තමයි. නිමෙනවා.”

උඩඟු ලීලාවෙන් ඇහැ කන පියාගෙන වකුටු වීමයි බළල් ගතිය. ඈ පිටත්වෙන හඬ ඇහෙද්දී බළල් ලොම් පොරෝණාවට යටින් වූ මිනිස් හදවත ගිඩි ගා ගැහුණා. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. ඈ යන්න ගියාම හැම දෙයක්ම යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙන බව ඒකාන්තයි. නමුත් එකම එක වතාවක් ඇගේ මුහුණ හොඳින් දැක බලාගන්න හිතාගෙන ජනේලයෙන් එබෙන එක තරමක වරදක්. ඒ වෙලාවේ ඇගේ පළල් නළලයි, නිල් ඇස් දෙකයි පැහැදිලිව දැකගන්න බැරිවීමේ සාංකාව නොවන්නට මම ඇයව හඹා නොයන්නට තිබුනා.

"මම කැමති නිල් පාට වීදුරු ඇස්වලට"

මම නම සඳහන් නොකල පණිවුඩයක් හත්වැනි වතාවටත් ඈ වෙත යොමු කලේ බළල් ලොම් පොරෝණාව ඉරාගෙන මතුවෙන සිවල් නිය පහුරු ගැන තැකීමක් නොකර. පාරින්ද්‍යා ඒ වෙද්දි වම් ඇලයට හැරිලා ගැඹුරු නින්දක හිටි වග නොකියා බැහැ. ඈ තදින් හුස්ම ගන්නවා. මම වෙස්මාරුවෙන් හති වැටිලා පරිඝණක තිරයට එබෙමින්, වරින් වර බියෙන් තැතිගනිමින් පිළිතුරක් එනතුරු මග බලනවා.



*******************************************


"එයා මගෙ ඇස්වල පාටත් දන්නවා!"

කෝපි බිංදු අළුත් සුදු මේස රෙද්ද මත කහට පැල්ලම් ඇතිකිරීම නෙමෙයි මේ වෙලාවේ තියෙන බරපතලම ප්‍රශ්ණය. හිවල් දත් සඟවාගෙන ඈ දෙසට රාගික බැලුම් නොහෙලා ඉන්න එක. අන්න ඒකයි නියම ප්‍රශ්ණය. එකිනෙකට වෙනස් තාරතාවයෙන් යුත් සිනා හඬ දෙකක්. මම කැමති උස් සිහින් හඬට. ඒත් මේ බළල් ලොම් පොරෝණාව කැමති නැහැ ඒක එහෙමයි කියලා පිලිගන්න.

"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"

"ඔයාට පිස්සුද?"

"ම්හ්?"

"අපි දැන් 'බැඳපු ගෑණු' පාරින්ද්‍යා."

"බැඳපු ගෑණුද? බැදපු ගෑණුද?"


අන්න ඒකයි හේතුව. මම කවදාවත් මගේ බිරිඳගේ වචනයට පිටින් ගිය කෙනෙක් නෙමෙයි. ඈ රෙදි බෝනික්කියක් වගේ දැනෙන්න ගත් දා පටන්වත් මම ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ නැහැ. අන්තිමේදි ඈ ව්‍යාපාර සම්මේලනයකට නගරයෙන් පිටවෙනකම් මම අපහසුවෙන් වුනත් බළලෙක් වගේ ඇගේ දෙපා මුල දැවටෙමින් උන්නා. නිම්සරා කඩාවදින හැම අවස්ථාවකදිම වතුර දැක්කා වගේ ලොම් පුම්බාගෙන ගුලි ගැහුනා.

'මා' තුල බිඳක්වත් නැති,
'අප' අතර පිරී ඉතිරී ඇති
ඉන්ද්‍රජාලයකි මේ ජීවිතය
හිරු තරම් උණුහුමයි ජීවිතය


මම අහුවුනේ එතැනින්. නිම්සරා හිරු කැරැල්ලක් වෙලා පෑව්වා. විය යුතු පරිදිම, හිරු කැරැල්ලක් එන්නේ ඉස්සරහ දොරෙන්ම නෙමෙයි. ජනේලෙකින්, අවන්හල් බැල්කනියක බට පැළැලි හිරු මුවාවක් අතරින්, අනපේක්ෂිත හැන්දෑවක නගර වීදියට ඉහලින් පාවෙන වළාකුලකින්, රන්පාට හිරු කිරණ කාන්දු වෙන්න පටන් ගත්තා.

පැය ගානක් ඇතුලත හිරු කැරැල්ලත් මමත් දෙන්නාම චර්ම පිලිකාවකට ගොදුරු වුනා. 

පිළිකාව හිතූ මොහොතක සැත්කමකින් කපාදමන්න හැකිවෙයි කියා හිතමින් මම දිගින් දිගටම හිරු රැසින් නැහැවෙන්න තීරණය කලා. සම්මේලනය අහවර වෙලා පාරින්ද්‍යා ගෙදර ආවේ තරමක් විසාල, වැහි වළාකුලක් අත්බෑගයේ ඔබාගෙන. ඉන්ද්‍රජාලයක්මයි ජීවිතය. ඒ නිසයි පාරින්ද්‍යා වැහි වළාකුලක් පොරවාගෙන යුගල ඇඳ උඩ වැතිරෙනකොට මම ආයෙමත් වැහි බිඳුවලට අකැමති බළලෙක් බවට රූපාන්තරණය වෙන්න ඇත්තේ.

අන්තිමේ හිරු කැරැල්ලත් මමත් වටහා ගත්තා පිළිකාවක් කියන්නේ හදවතේ කෙලවරක හටගත්ත රෝසමල් හැඩේ පොඩි ගැටිත්තක් විතරක්ම නොවන වග. හෘද ස්පන්දනයත් එක්ක සෛලයක් සෛලයක් ගානෙ පැතිරිච්ච, ඔඩු දුවපු පිළිලයක් වග.

ඉතින් අපි විසඳුමක් හොයාගෙන ගින්දරට පැන්නා. 

නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ විතරක් නෙමෙයි, මල් පත්තර කාරයෝ, ගොසිප් සයිට් කාරයෝ පවා පැට්ට්‍රල් කෑන් කර තියාන ගින්දර බලන්න ආවා.  පිච්චි පිච්චි ඉන්න අතරෙ එයා එකපාරටම පිළිකාව ගලවලා දාල ගිනි ගොඩෙන් මෑත් වුනා.

"මම ගෙදර යනවා."

"මම බැඳපු ගෑණියෙක්."

කාලයත් එක්ක ගින්දර අඩු වුනා. බළල් ලොම් පොරෝණාව අඟුරු වෙලා ගිහින් තිබුනා. ඒත් සෛල ඇතුලේ ශේෂ වෙච්ච පිළිකා කැබැලිති තවමත් හෙමිහෙමින් පිච්චෙනවා. මම ගින්දර නිවෙනකම් නොහෙල්ලී බලා ඉන්නවා.

තට්ට තනියම. අඩුම තරමේ මල් පත්තරකාරයෙක්වත් නැතුවම.


- යශෝධා සම්මානි ප්‍රේමරත්න -

Read more
වැරැද්ද?  ___________  "දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."

වැරැද්ද? 
___________

"දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න." 

ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.

"ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක." ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. "සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?"

"මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි." අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය. "බොහෝවිට අද හවස?"


* * * * *

ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය. 

සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.

අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.

අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.

ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි. 


* * * * *

"මම හිතන්නේ මම ඒක හොඳින් කළා." උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය. 

අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!


* * * * *

දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.

සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.


* * * * *

"පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය" ප්‍රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.

ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය. ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය. ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්... අහා! ඔහු තවදුරටත් ටාෂි නොවේ, ටෙරන්ස් ය.

අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.


* * * * *

මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන 'ප්‍රොජෙක්ට් - X‍‍‍‍ය්'හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. "ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!" සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.

උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින් උන්හ!


- යශෝධා සම්මානි ප්‍රේමරත්න -
Read more